28 වෙනි සැමරුම..

tumblr_muhu2hFx4Q1rhzd8mo1_1280

මැදියම් රෑ 12 එළඹ ඇත. දුක හා සතුට මුසුවූ හැඟීමකින් සිත පිරී යයි. තවත් වසරක් ගෙවී ඇත, තවත් උපන්දිනයක් සැමරීමට කාලය එළඹ ඇත. ජීවිතයේ මේ නොවෙනස්වන වෙනස්වීම යම් විටෙක දුක්බර, යම් විටෙක චමත්කාර අත්දැකීමක් ද වීම පුදුමාකාර දෙයක් නොවෙද?

1988 මාර්තු 04 දින අම්මාට හා තාත්තාට මගේ උපත කෙසේ දැනෙන්නට ඇත්දැයි මම නොදනිමි. නමුත් මගෙ පැමිණීම ඔවුන්ට සතුටක් වෙන්නට ඇතැයි මම සිතමි. යම් යම් අවස්ථාවලදී මා ඔවුන්ගේ අදහස් හා එකඟ නොවී ඔවුන් හා විරසක වුවද, ඔවුන් තවමත් මට එදා මෙන් අදත් පණ සේ ආදරය කරන බව මම දනිමි.

කුඩා කල මට අවැසි වූයේ ලස්සන වීමටය, සුදු වීමටය, ඉතා උස කෙනෙකු වීමටය. රූපවාහිනියේ හිම කුමරි දුටු මා ඇය මෙන් වීමට දැඩිසේ ආශා කළෙමි. කුඩා කල මා සියලූ දෙනා එක හා සමාන විය යුතු යි සිතුවෙමි. ලෝකය වර්ණවත් වන්නේ එකිනෙකා තුළ ඇති මේ අද්විතීය වූ වෙනස්කම් මත වන බව එදා මගෙ කුඩා මනසට තේරුණේ නැත. අන් අයගෙන් මා වෙනස් වීම, මා දුටුවේ මගේ වරදක් ලෙසය. සාමාන්‍ය පෙළ, උසස් පෙළ ඉතා ඉහළින් සමත් වීම, එදා මම ජීවිතය ලෙස සැළකුවෙමි. වේදිකාවක් මත සියල්ලන් ඉදිරියේ ජනප්‍රිය සිසුවෙකු වීම ජීවිතය යයි මම වරදවා තේරුම් ගතිමි. මා එසේ ධෛර්යය මත් නොවු චරිතයක් වීම ගැන මම මටම වෛර කළෙමි. 28 වසරකට පසු, අද නිස්කලන්ක වූ පරිසරයක තනිවම කෝපි කෝප්පයක රස බලමින් පොතක් කියවිමින් ලබන්නාවූ සියුම් රසවිඳීම තුළ මම ජීවිතෙයේ සැනසීම අත්දකිමි.

මගෙ සිත තුළ සිටි කුඩා දරුවාට වෙන්නට අවශ්‍ය වූ චරිතය මම නොවෙමි. නමුත් ජීවිතයේ මට හිමි නිසි චරිතය මෙයයි මා දැන් දනිමි. ජීවිතයේ වෙනස ඇත්තේ මේ තේරුම් ගැනීම තුළ නොවෙද? අද ඒ වෙනස සැමරීමට යෙදුණු විශේෂ දිනයයි.

අවුරුදු 24 දී විවාහ වීමට මා සිතන් සිටියෙමි. අපි පතන්නා වූ ලෙසම ජීවිතය බොහොම සෞම්‍ය ලෙස ගලා යාවී යැයි මා සිතුවෙමි. දිනෙන් දින ගෙවී ජීවිතය ටිකෙන් ටික අත්දකින විට, අපේ සැලසුම් මතම ජීවිතය ගලා නොයන බව මම අත්දැකීමෙන් ඉගෙන ගතිමි. මා තවම විවාහක නැත. සියල්ල පරිපූර්ණ නැත. නමුත් මම සතුටින්ය. ජීවිතයේ මා පැමිණ ඇති දුර පිළිබදව මම සතුටු වෙමි.

අවුරුදු කීපයකින් අපි තුළම සිදුවිය හැකි මානසික පරිවර්තනය පුදුමාකර නොවෙද?

මා කුඩා කළ මම මටම වෛර කළෙමි. මට මා වීමට අවශ්‍ය වූයේ නැත. මාගේ පෙනුම, හඬ මේ හැම දෙයක්ම මම පිළිකුල් කළෙමි. ”මම මා වීම” පිළිබඳව මටම සමාව දීමට මම පැකිළුණෙමි. කැඩපතක් ඉදිරිපිට නැවතී බැලූ කළ දුටු මගේම ඡායාව පිළිබඳ ව මම සතුටු නොවුණෙමි. අවුරුදු 28 ක් මටත් නොදැනීම ගෙවී ඇත. කැඩපතින් දකින බාහිර ඡායාවටද, ඊටත් වඩා ගැඹුරින් ඇති මගේ ආධ්‍යාත්මික ඡායාවටද ආදරය කරන්නට මම ඉගෙන ගතිමි. ආත්ම විශ්වාසය නොමැති වූ, මා තුළම සිටි ඒ කුඩා දැරිවිය සනසවන්නට තරම් මම අද මනසින් පරිණතව ඇත. ජීවිතයේ උපරිම පරිණාමනය මෙය නොවෙද?

ජීවිතයේ ලබන්නාවූ සෑම උපන්දිනයක්ම අපි අත්දකින්නාවූ සියලූ වෙනස්කම් වල එක් සටහනක් වේ. යනෙන මග කෙතරම් කටුක වුවද අපි නොනැවතී ආ බවට සාක්ෂියකි ඒ. විටෙක කර්කෂ වූද, විටෙක මියුරූ වූද ජීවිතයේ අපමණක් වූ වැටකඩොලූ පැන මෙතෙක් දුර ආ බව සටන් කරන ඒ සුවිශේෂී දිනය සමරා නොසිටින්නේ කෙසේද?

අපේ නිවසේ උපන්දිනයක් යනු ඉතා විශේෂ අවස්ථාවකි. ජීවිතයේ වෙනස්කම්, පරිවර්තනයන්, පරිණාමනයන් සැමරීමට යෙදෙන උපන්දිනයක් කිසි දිනෙක අමතක නොකළ යුතු වැදගත් සිදුවීමකි. සාමාන්‍යයෙන් මා මගේ උපන්දිනය සමරන්නේ පවුලේ අය හා ඉතා සමීප නෑදෑයන් කිහිප දෙනෙක් සමගිනි.

උපන්දිනයක් යනු මෙවන් සුවිශේෂී උත්සවයක් වුවද, ගත වෙහෙසට පත් කරනා, පොකට්ටුවද හිස් කරන නිෂ්එල ප‍්‍රිය සම්භාෂන වලට මම කැමති නැත. ඉතා සරල අත්දැකීම් තුළින් අපි ලබන්නවූ සියුම් නමුත් මිල කළ නොහැකි සතුට විශේෂ මතක සටහනක් ඇති කිරීමට ප‍්‍රමණවත්ය.

මම කැමති මගේ පාඩුවේ නිදහසේ සැමරීමටය. ඉතා විශාල සෙනගක් මැද මට මගේ නිදහස නැත. සැනසුමද නැත. එනිසා සුපුරුදු පරිදි 28 වෙනි උපන්දිනය ද මා සැමරුවේ මට වඩාත් ලෙන්ගතු වූ පිරිසක් මැදය. අවුරුදු 28ක් ගෙවී ඇත. ජීවිතයේ විවිධ වූ බාධක මැදින් පැමිණි මට දැන් අවුරුදු 28කි. දයාබර දෙමව්පියන් දෙදෙනෙක් ද, ආදරණීය සහෝදරයෙක් හා සහෝදරියක් ද මට ඇත. ඉතා ලබැඳි යහලූවෝ කිහිපදෙනෙක්ද සිටී. ජීවිතය තවමත් නැවුම්ය, තුරුණුය. මේ තබන්නේ ඒ ජීවිත ගමනේ 28 වෙනි සැමරුමයි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s